මෙම ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී රුහුණු, මායා, පිහිටි වශයෙන් රට බෙදී තිබූ අවධියේ රුහුණු රාජධානියේ සංවර්ධිත ප්‍රදේශයක් සහ ප්‍රාදේශීය ප්‍රභූ රජවරුන් වාසය කළ ප්‍රදේශයක් ලෙස බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති මාළිගාතැන්න, උඩුගල්මොටේ, පල්ලත්තර, බෙලිගල්ල, සිටිනමළුව, වටරක්ගොඩ, ගැටමාන්න, ගලගම වැනි ප්‍රදේශවල අද නෂ්ඨාවශේෂ දක්නට ඇත.
බෙලිගසක් සහ බෙලි විකුණන ලද මහළු කාන්තාවක් ඇසුරු කොටගෙන බෙලිඅත්ත යන නම සැදී ඇති බව ජනප්රවාදයෙන් පැවසේ. රුහුණු රාජධානිය පැවති අවධියේ ප්‍රාදේශීය රජ කෙනෙක් වන මිණිකිරුල රජතුමාගේ මාළිගය මාළිගාතැන්න ප්‍රදේශයේ තිබූ බවත්, ස්නානය සඳහා පැමිණි පසු විවේක ගැනීම සඳහා නතර වූ ස්ථානය හිටිනමළුව ලෙසත් පසුව සිටිනාමළුව ලෙස ව්‍යවහාර වූ බවත්, රජතුමා ගමන් ගත් දෝලා විශේෂයක් වූ පල්ලැක්කිය තබා දොළකින් එතෙර වූ තැන පල්ලත්තර නමින් හඳුන්වන බවත් ජනප්‍රවාදවල සඳහන් වේ.
එමෙන්ම බෙලිඅත්ත නගරය ආසන්නයේ ඇති ලුණු කඩේ හන්දිය එවකට කරත්ත වලින් පැමිණි වෙළෙඳුන් ලුණු වෙළෙඳාමේ නියුක්ත වූ ස්ථානය බවත් පැවසේ. එමෙන්ම ඊට ආසන්නයේ තිබූ කුඩා කඳුගැටයක් සහිත වනාන්තරයේ කොටියන් වැනි සතුන් ජීවත් වූ බැවින් පසුව මෙම ප්‍රදේශය කොටිගොඩැල්ල කන්ද ලෙසින් හඳුන්වා ඇති අතර දැනට එය කොටුගොඩැල්ල ලෙසින් හඳුන්වයි.
මීට අමතරව බෙලිඅත්ත ආසන්නයේ ඇති කහවත්ත ප්‍රදේශය එවකට කසාවතින් සැරසුණු භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් ජීවත් වූ වත්තක් බවත්, එම භික්ෂූන් වහන්සේලාට දානය සැපයූ ප්‍රදේශය දංමුල්ල ලෙසත්, එය පසුව දම්මුල්ල ලෙසින් ව්‍යවහාර වු බවත් පැවසේ.
මහනුවර යුගයේ දෙවන රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේ සිටි විද්වත් හිමිනමක් වන සිටිනාමළුවේ ධම්මජෝති හිමිපාණන් රජතුමා සමග සමීප ඇසුරක් තිබූ බවත්, සිටිනමළුව ප්‍රදේශයේ විසූ නීල කොබෝ සංදේශය ලියූ භරණ ගණිතඥයා පිළබඳ පුරාවෘත්තය සොයා බැලීමේදී ඒ පිළිබඳ සාක්ෂි දරයි. මහනුවර යුගයේ තිබූ සඝරාජ වතගොත පොතේ සඳහන් පරිදි මුල්ගිරිගල විහාරය ඇසුරු කොට වේහැල්ල නායක හාමුදුරුවන්ද, උඩුගල්මොටේ ගල්කෙම පන්සල ඇසුරු කොටගෙන වටරක්ගොඩ ධම්මපාල නායක හාමුදුරුවන්ද, සිටිනමළුව පුරාණ විහාරය ඇසුරු කොටගෙන සිටිනමළුව ධම්මජෝති ස්වාමීන් වහන්සේද බෞද්ධාගම් පුනර්ජීවයක් ඇති කොට අලුතින් පන්සල් බිහිකර ඒ වටා ගම්මාන ගොඩනගා ඇත.
ඉංග්‍රීසි පාලන සමයේ යටත් විජිත පාලකයන් විසින් පාලන පහසුව සඳහා එක් එක් ප්‍රදේශ පත්තු වශයෙන් බෙදා වෙන්කොට ඇති අතර අද බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ලෙස හඳුන්වන මෙය එදා බස්නාහිර ගිරුවා පත්තුව ලෙස හඳුන්වා ඇත.